සන්දේශයකට එහා ගිය යමක්
ජිවිතයට එක් කරන්නට දුතයා ගන්නා මේ උත්සාහයේ පළමු වෑයම මිනිසුන්ගේ සතුට සොයා
යන්නයි මේ සැරසෙන්නේ.
අතීතයේ පටන් ම මිනිසා
ඉතාමත් සතුටින් ජීවත් වුණා. සරල ජීවිතයකට හුරු පුරුදු වෙලා හිටිය මිනිස්සු ජීවිතයේ
පරම ධනය වන සතුට තම මිතුරා බවට පත් කරගෙනයි ජිවත් වුණේ. මිනිස්සු මේ විදිහට
සතුටින් ජීවත්වෙන එක බලාගෙන ඉන්න බැරි පිරිසක් හිටියා. ඒ තමයි දෙවියො. දෙවියො කල්පනා
කරනවා “මේ මිනිසුන් සතුටින් හිටියොත් කවදාවත් මිනිසුන්ට අපිව මතක් වෙන එකක් නෑ”
කියලා. මොකද මිනිසුන්ට දෙවියො මතක් වෙන්නේ කරදරයක්, දුකක් ඇති වූ අවස්ථාවලනෙ.
මිනිස්සු දුකට, කරදරයට පත්වුනහම
අනේ දෙවියනේ ........
හපොයි දෙවියනේ .......
දෙවියන්ට මේ අවනඩුව පේන්නෙ නැද්ද?.........
ආදී වශයෙන් දෙවියන්ගේ
පිහිට ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් උන නිසා දෙවියන්ට කන්නලව් කරන්න අවශ්‍ය වුණේ නෑ. මෙන්න
මේක තමයි දෙවියන්ට තිබුණ ලොකුම ගැටළුව. දෙවියන් වෙනුවෙන් පුද පූජා ලැබෙන්නෙත්
මිනිසුන් දුකෙන් ඉන්න අවස්ථාවලනෙ.
මේ ප්‍රශ්නෙට විසදුමක්
සොයන්න දෙවියො ඔක්කොම එකතුවෙලා දේව සභාවක් පැවැත්තුවා. මේ දේව සභාවට රැස්වුණ දෙවියො
මිනිසුන්ගේ සතුට හංගන්න ඕනේ කොහොමද කියලා සාකච්ඡා කළා. මේ අතරේ විශ්වයට අධිපති
දෙවියො නැගිටලා කියනවා මිනිසුන්ගේ සතුට මේ මහා විශ්වයේ කෙලවර තැනක සැඟවිය යුතුයි
කියලා. ඒ අතරෙ තවත් දෙවිකෙනෙක් කියනවා
“ මිනිස්සු මේ මහා විශ්වයත් ජයග්‍රහණය කරනවා.
ජෙට් යානා, මිග් යානා, චන්ද්‍රිකා, සැටලයිට්, දුරදක්න වගේ නව තාක්ෂණික උපකරණ වලින් මිනිස්සු විශ්වයේ
හැම තැනක්ම හොයාගන්නවා. ඒ නිසා මේ විශ්වයේ කොතැනක සතුට හැංගුවත් කවදාහරි මිනිස්සු
සතුට හොයාගනී”කියලා.
මහා සාගරයට අධිපති දෙවියො
යෝජනා කරනවා මිනිසුන්ගේ සතුට මහා සාගර පතුලෙ ආගධයක සැගවියයුතුයි කියල. එවිට තවත්
දෙවිකෙනෙක් කියනව
“ඒත් වැඩක් නෑ. මිනිස්සු
නැව් හදනව, සබ්මැරින් හදනව, සාගර පතුලේ හැම තැනක්ම නිරීක්ෂණය කරනව. ඒනිසා කවදාහරි
මිනිස්සු සතුට සොයාගනී” කියල.
මේ අතරේ මිහිකතට අධිපති
මහිකාන්තව මිනිසුන්ගේ සතුට මිහිකත මධ්‍යයේ සැඟවිය යුතු යැයි යෝජනා කරනවා. ඒ යෝජනාවට සරදම් හිනාවක් සමග අනංගය මෙන්න මෙහෙම
කියනව.
“ ගෑණු කවද්ද රහස් රැක්කෙ.
මහී කාන්තාවට අයිති රත්තරං, මැණික්, බොරතෙල්, පස්, ගල්, වතුර වල ඉදං හැමදෙයක්ම මිනිස්සු
උදුරගන්නවා. එහෙව් මැයට මිනිසුන්ගේ සතුට හංගගෙන ඉන්න පුළුවන් වෙයි කියලා දෙවියො
හිතනවද?”
දැන් දේව සභාව ලොකු ප්‍රශ්නයකට
මැදිවෙලා, මිනිස්සුන්ගේ සතුට කොහෙද හංගන්නේ කියලා. දේව සභාවේ කිසිම දෙවියෙකුට මිනිස්සුන්ගේ
සතුට හංගන්න තැනක් යෝජනා කරන්න බැරිවුණා. දෙවියො හැමෝම සක්‍ර දෙවියන්ගෙන් මේ ප්‍රශ්නෙට
විසඳුමක් ලබා ගන්න තීරණය කළා. ඔවුන් සක්‍ර දෙවියන්ව හම්බවෙලා ලුණු ඇඹුල් එකතු කරලා
මේ ප්‍රශ්නේ සක්‍ර දෙවියන්ට ඉදිරිපත් කළා. එක දෙවිකෙනෙක් කියනවා
“ නරයො අපේ දේව මත
අභියෝගයට ලක්කරනව. ඔවුන් අපට කන්දෙන්නෙ නෑ. අතීතයේ දේව මතය නොසැලකූ ඊඩිපස් වගේ,
නැත්නම් ක්‍රෙයෝන් වගේ, දෙවියන්ට අභියෝගයක් වුණ රාවණ වගේ ”
තව දෙවිකෙනෙක් කියනවා.
“ මිනිස්සු දැන් සතුටින්
ඉන්නෙ. මිනිස්සුන්ට අපිව අවශ්‍ය නෑ. මිනිස්සු තමන්ගේ මැවුම්කාරය , ගැලවුම්කරය හා
ආරක්ෂකයා වන මිනිස්සුන්ට හැම සැප සම්පතක්ම දුන්න අපිව අමතක කරලා ”
සක්‍ර දෙවියෝ මේ ගැන
කල්පනා කර මිනිසුන්ගේ සතුට සැඟවීමට තැනක් යෝජනා කරනවා.
“මිනිස්සු මේ ලෝකයේ හැම දෙයක්ම
හොයාගන්නවා. ඔවුන් මේ විශ්වයම ජයග්‍රහණය කරනවා. යාන වාහන, සුවිසල් මන්දිර, රස
බොජුන්, ධනය, බලය මේ හැම දෙයක්ම මිනිස්සු ලබාගන්නවා. එත් මිනිස්සු එක දෙයක් ගැන
හොයන්නේ නෑ. ඒ තමයි මිනිස්සු බාහිර ලෝකෙ
හැම දේකින්ම සතුට හෙවුවත් මිනිස්සු තමන් ගැන හොයන්නෙ නෑ.”
ඒ නිසා මිනිසුන්ගේ සතුට සැඟවිය යුත්තේ මිනිසුන්
තුළ ම බවත් එවිට කිසි දිනක මිනිසාට සතුට හොයා ගත නොහැකි බවත් සක්‍ර දෙවියන් යෝජනා කරනව.
වර්තමාන මිනිසා බාහිර
ලෝකයෙන් සතුට සොයමින් මිරිගුවක් පසුපස ලුහුබදී. එකිනෙක පරයා ගොඩනැගෙන ආශාවන්
තුළින් සතුට සොයන මිනිසාට කෙදින සතුට හමුවේවි ද? එසේනම් අප සතුට සෙවිය යුත්තේ තමන්
තුළිනි. කෙටිකාලීන වින්දනය පරයා යන නිර්මල සංතෘෂ්ඨිය සොයා යෑමට දුතයාගෙන් ඔබටත්
ආරාධනා.
ඔබ තමන් තුළින් සතුට සොයන්නේ
කෙසේදැයි අනිත් අයටත් දැනගන්න comment කරන්නත් අමතක කරන්න එපා.

No comments:
Post a Comment