Total Pageviews

Thursday, August 3, 2017

කැලණි සරසවි කුරුටු ගී



කුරුටු ගීයක් ලියන්නට කැටපත් පවුරක් අවැසිමද? සීගිරි නැරඹු පැරැන්ණෝ කැටපත් පවුරේ තම සිතැඟි ලියා තැබුව ද වත්මන එවැනි කැටපත් පවුරු කොයින්ද? එනමුදු මිනිසුන්ගේ නොනවතින සිතුවිලි ධාරා ලියා තබන්නට ක්‍රමවේදයක් තිබේද? ඔබට “ඔව්” යැයි ප්‍රකාශ කළ හැකිය. සෙල්ලිපි, පත් ඉරු, පොත්පත්වල පටන් ජනමාධ්‍ය, නවමාධ්‍ය දක්වා කෙතරම් ක්‍රමවේදයන් පවතීද? එහෙත් සිත තුළ තෙරපෙන ප්‍රකාශනයට ඉඩක් නොමැති, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි හැඟීම් ලියා තබන්නට විධිමත් ක්‍රමවේදයක් තිබේද? කෙනෙක් අසුන්දර යැයි ප්‍රකාශ කළ තමන්ට අති සුන්දර යැයි සිතුනු ප්‍රකාශනයක් තමන් හා සම රසවින්දන ශක්‍යතාවයකින් යුත් සහෘදයා වෙත ගෙනයාමට ක්‍රමවේදයක් තිබිය යුතුය. දුකක් සන්තාපයක් හටගත් මොහොතේ ම නිහඬව එය සමාජ ගත කළ හැකි ක්‍රමවේදයක් තිබේද? “ඔව්”  එවැනි ක්‍රමවේදයක් හඳුනාගන්න පුළුවන්.
පාට කෑල්ලක් , පැන්සලක් අඟුරු කැටයක් හොයාගෙන බිත්තිය පුරා ම ලොකු බලි ඇදපු , මිදුල පුරා කෝටු කෑල්ලකින් ලස්සන රටා ඇඳපු ( ඒ රටා ලස්සන අපේ අම්මට පමණි )  ළමා කාලයක් අපි හැමෝටම තියනවා.

කුරුටු ගී ගැන මෙච්චරවෙලා කුරුටුගෑවේ දුතයාට හමුවුණ සුවිශේෂී කුරුටු ගී විශේෂයක් ගැන ඔබට කියන්න. පාසලේ කැසිකිලිවල, නාගරබද පොදු වැසිකිළිවල, පාසලේ, ටියුෂන් පන්තියේ ඩෙස් පුටු මත හා විශ්වවිද්‍යාල භුමියේ විවිධ තැන්වල කුරුටු ගී ලියවෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ තැන් කිහිපයක ලියවුණු කුරුටු ගී ගැනයි මේ දූත මෙහෙවර. මේ එයට පූර්විකාවක්.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඔබ දකින්නේ කොහොමද? ඔහු විවිධ සමාජ පරිසරයන් තුළින් ගෙතුණු අමුතු වියමනක්, ගෙත්තමක්. විටෙක ඔහු දාර්ශනිකයෙක්, විප්ලවවාදියෙක්, තවත් විටෙක කවියෙක්, නාට්‍ය කරුවෙක්, සාහිත්‍යධරගයෙක්. මිනිස් චින්තන ශක්තියේ සුවිශේෂී නිමැවුමක්. ඔවුන්ගේ හදවත් වල ගොඩනැගෙන විවිධ මනෝභාවයන් විවිධ ක්‍රමවේදයන් මගින් එළිදකිනවා. සිත තුළ තෙරපෙමින් පවතින එහෙත් ප්‍රකාශනයට ඉඩක් නොමැති මනෝභාවයන් විශ්වවිද්‍යාලයේ විවිධ තැන්වල කුරුටුගෑවෙනවා. මේ කුරුටු ගී විශ්වවිද්‍යාල විද්‍යාර්ථියගේ හද ගැහෙන රාවයේ පිළිබිඹුවක්. විටෙක විප්ලවය, තවත් විටෙක ආදරය, විරහව, දුප්පත්කම, අධ්‍යාපනය එකට ගැටෙන ජීවිතය තුළ ගොඩනැගෙන අපුර්ව මනෝභාවයන් දිගහැරෙන කැටපත් පවුරක්. කාන්තා , පිරිමි නේවාසිකාගාරවල කියවීම් ශාලාවල හා වැසිකිළි , කැසිකිලිවල නිම නොවන සටහනක්. අලුතින් පාට ගා පිරියම් කළ බිත්ති මත තට්ටු ගණනින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ කුරුටු ගී නිදන්ගතව ඇත. අලුතින් පාටගෑ පිරියම් කළ බිත්ති නව පරම්පරාවක කුරුටු ගී ලියන්නට කැටපත් පවුරක්.
            විශ්වවිද්‍යාල ජීවිතය තුළ ආදරය විරහව නොනිමි දහමක්. ආදරය අභියස පරාජය වන පෙම්වතුන්ගේ හඩාවැටෙන හදවත්වල විරහ වේදනාව විශ්වවිද්‍යාලයේ විවිධ තැන්වල බිත්ති මත කැටයම් වෙනවා. මේ එවැනි කවියක්
                        “ දුක්බර සැදෑවක
                           රතුපාට දිය කරපු
                          සැදෑ සළු පොරවගෙන
                          අපි ඉතින් වෙන්ව යමු
                          ආදරේ රත් පැහැය
                          සැදෑ සළු සරසන්න
                          තිලිණ කොට හමුවුනද මගතොටේ
                          නාදුනන අය ලෙසේ
                          සිනාමල් විසිකරමු
                          බොල් අහස සරසන්න
                          ආදරයෙ සුභ සිහින
                          සමරු පෙම් මතකයන්
                          සොහන්ගැබ නිදන්කොට
                          නිදන් වූ මතකයන්
                          සොහොන්ගැබ රජකරන
                          ඉකිබිඳී ඔබ නමින ”


            විරහව විවිධ හදවත්වල විවිධ අයුරින් උපදිනවා. විද්‍යාර්ථියා ස්ව අත්දැකීම් මෙන් ම තමන් ඇසු , දුටු , කියවූ හෝ මනෝසංකල්පයන් ඉතාමත් අපුර්ව අයුරින් බිත්ති මත කැටයම් කිරීමට සමතෙකි. මේ එවැනි එක් අවස්ථාවකි.
                        “ආදරණිය ඩොමා
                          අග්නි වැසි නොවෙයි ඒ
                          මා නෙතේ කදුළු බිදු
                          හෙන හඬක් නොවෙයි ඒ
                          මා පපුව පැලුන හඩ
                          වසන්තය නිසා නොවේ
                          ඒ සීතල
                          අත් පසුරු බිඳීගිය
                          ගස් යට සොයාපන්
                          මාව
                          හැමදාම
                          එහෙත් එන්න එපා
                          වංකගිරි නගරයට
                          හමුවේවි මගේ
  සීතල මළකඳ
            (මීට ආදරණිය පබාවතී)
පබාවතියගේ මේ හසුන වංකගිරි නගරයේ දිවි ගෙවන ඇගේ දුක් කම්කටොළු වල ශෝකාලාපයකි. විශ්වවිද්‍යාල භූමිය තුළ ආදරය සොයාගිය තරුණයෙකු තමන් නොපැතූ ආදරයක සිරගතවන්නට වූ අවස්ථාවක ඔහුගේ හදවතට හැගුණු සිතුවිල්ලක් විශ්වවිද්‍යාලයේ බිත්ති මත කුරුටු ගෑවිලා.
                        “ මුල්ම දින දුටුවා
                          අහිංසක මුහුණ මම
                          හිතුනා හා පැටියෙකි කියා ඔබ
                          රැවූ විට දුටුවා
                          රදනක දත් දෙකම
                          ඔබ
                          වැටහුනා...
                          හැම කොටියටම
                          පුල්ලි නොමැති බව
                          තේරුනා මා කරපු
                          මෝඩ කම
                          හැරෙනු බෑ දැන්
                          කොටි කටක් ළඟ ”
            ආදරය තරමට ම විරහව ද සුන්දරයි, වින්දණීයයි. ආදරයෙන් පැරදුන හදවත් ඒ විරහව දරාගන්නට මෙවැනි කවි සිත්තම් කරනවා. ආදරයේ අහිමි බව වෛරයක් නොවන්නේ මේ සෞන්දර්යයාත්මක ගුණයෙනි.
            අලුත් නැවක් කැලණි කන්ද නගිද්දී තෝරන් බදිනවා. කැවුම්, කිරිබත් හදනවා. ඒ වගේම කැලණි කන්ද නැගගෙන එන අලුත් නැවට අයියලා, අක්කලා උපදෙස් දෙනවා. මඟ පෙන්වනවා. මේ අලුත් නැවේ එන නංගිලට අක්කලා දුන්න උපදෙස් ටිකක් කාන්තා නේවාසිකාගාරයේ බිත්ති මත මේ විදිහට ලියලා තිබුණා.
                                            “නංගිලා ඔක්කොටම
                                              දැනගැනීම පිණිසයි”
                          ලස්සන මලට බඹරුන් එයි රොන්           ගන්න
                          රොන්ගත් පසුව උන් දඟලයි පැන           යන්න
                          පරවුණ මලට බැහැ යලි විකසිත              වන්න
                          මල දැනගන්න පිරිසිදුකම                  රැකගන්න
            ගමේ ඉදන් දහසකුත් පැතුම් පොදි බැදගෙන සිදාදියට එන මේ නංගිලට අක්කලගෙන් ලැබෙන්නේ මහඟු උපදෙස්
ගැහැණු ළමයි පාරේ යන බස්      වැනිය
                        එකක් මිස් උනොත් අනිකේ යා හැකිය
                        පිරිමි ළමයි කොන්දොස්තරලා    වැනිය
                        නංවා ගන්න තුරු ආලය පන      වැනිය  
            සදය උපහාසයෙන් ගොඩනගන මේ කවිය බසයෙන් බසයට මාරුවෙන අනග කොන්දොස්තරලාගේ බසත් ආලයෙන් බේරෙන්නට මඟ කියයි.
            විශ්වවිද්‍යාලය පිටත සිට බලන සමාජයට සොදුරුය, සිහින ලොවකි. නමුදු ඒ තුළ දිවි ගෙවන විද්‍යාර්ථින්ගේ ජීවිතය කටුකය. විවිධ සමාජ තත්වයන්, විවිධ මනෝභාවයන්, විවිධ දරාගැනීමේ හැකියාවන් ඔවුන් සතුය. අයෙකු දකින සොඳුරු බව තවකෙකුට මහත් දුකකි.  මේ එවන් අවස්ථා කිහිපයකි.
                       
                        පිකට් වලට ගොස් මුළු උගුරම                         රිදුණා
                        කැට සොලවමින් අපි  තැන තැන පල්ම              උණා
                        අල පොදු බේදේ ගොඩනගමින් රණ්ඩු              වුණා
අපතයො ගොඩක් බිහිවෙන්නට මුල             පිරුණා

                        කැම්පස් යාම සිහිවන විට මට                          දුකකි
                        කැම්පස් එකට ගිය විට එය                           අපායකි
                        කැන්ටින් හොද්ද සිහිවන විට වමනෙ                 යති
                        එහි විටමින් දකින විටදී තරු                       පෙනෙති

                        නැත කරට රන් මාලා                           ගොතන්නට
                        නැත ගතට සළුපිලියෙන්                           වසන්නට
                        නැත සිතට සැනසීමක් මෑත                                සිට
                        වඩිනු දෙවියනේ මේ දුක                          නිවන්නට
            ඍජුව කිව නොහැකි දේ ලියා තබන්නට ගත් උත්සාහයන් ද ඒ තුළ ගොඩනැගෙන සියුම් උපහාසය ද කැළණි සරසවි කුරුටු ගීයේ තවත් විශේෂත්වයකි.
ලෝක සංවර්ධනය
වේගයෙන්  සිදුවෙලා
පැය දෙකේ දේශනය
පැයෙන් අහවර වෙලා
ඊට වැඩි වේගයෙන්
සර් යයි නික්මිලා
තෙවසක් සිවු වසක් කටුක දිවියක් ගතකර ලබාගන්නා උපාධි සහතිකය අනාගත සිහින ගොඩක හිමිකමයි. උපාධි සහතිකයේ වටිනාකම හීනවී යන සමාජයක සරසවි සිසුවාගේ බලාපොරොත්තු බිදවැටේ. මෙවන් කුරුටු ගී තුළින් ධෛර්ය වඩවයි.
                        “පේලියට පෝලිමට
කළුකබා පොරවාගෙන
හිසනමා ලැබගත්තු
උපාධි සහතිකය
හෙට සිට වෙන්දේසියට
ඈවරයි දෑවරයි
ලන්සුවක් තියන්න
කෙනෙක් නැති පාටයි
ඒත් නොහරින්න
අත් නොහරින්න
ඔබේ ඔය යත්නය”

                 විවිධ සිතුවිලි විවිධ මනෝභාවයන් කැටිවුණු සරසවි කුරුටු ගී අතුරින් මෙහි සඳහන් වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. තවත් සරසවි කුරුටු ගී විශාල ප්‍රමාණයක් සංරක්ෂණය නොකරම බිත්ති මත මැකී යන්නට ඇත. විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ අව්‍යාජ මනෝභාවයන් හා විශ්වවිද්‍යාල පරිසරය පිළිබඳ වැදගත් තොරතුරු වලින් යුත් සරසවි කුරුටු ගී සංරක්ෂණය කළ යුතු සෞන්දර්යාත්මක කලා අංගයකි.
( ඔබ දන්නා සරසවි කුරුටු ගී අනෙක් අයට ද දැනගැනීම සඳහා එක් කරාන්න)              

No comments:

Post a Comment

කැලණි සරසවි කුරුටු ගී

කුරුටු ගීයක් ලියන්නට කැටපත් පවුරක් අවැසිමද? සීගිරි නැරඹු පැරැන්ණෝ කැටපත් පවුරේ තම සිතැඟි ලියා තැබුව ද වත්මන එවැනි කැටපත් පවුරු ක...